අල් කුරාන් – හැදින්වීම

quranමුළු මහත් විශ්වයටම අධිපති වන අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් සකල ලෝකයාටම වරප‍්‍රසාදයක් වශයෙන් බිහි කළ මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් තුමාණන්ගේ මාර්ගයෙන් මුළු මහත් ලෝකයාටම මතක් කිරීමක් වශයෙන් පහළ කරන ලද ශුද්ධ වූ ධර්ම පුස්තකය වන මෙය අල්-කුර්ආනයයි.

අවුරුදු 1400 කට අධික කාලයක් තිස්සේ මිනිස් මනස පුබුදුවා මිනිස් ගති පැවතුම් නියමිත ආකාරයකට ගෙන ඒමේදී අල්-කුර්ආනය විශාල මෙහෙයක් ඉටු කර ඇත. ලෝක ජනගහනයෙන් පහෙන් එක් පංගුවක් පමණ ජනතාවගේ ජීවිත ආලෝකමත් කිරීමේදී මෙම ධර්ම පුස්තකය ප‍්‍රදීපයක් වශයෙන් විශාල කර්තව්‍යයක් ඉටු කර ඇතැයි කිව හැකිය. මෙම ග‍්‍රන්ථය තරම් පසුගිය ශතවර්ෂ දහතුනක කාලයකදී කියවන්නට යෙදුන වෙන කිසිම ග‍්‍රන්ථයක් නැති තරම්ය. මෙය පහළ වූ මූලික භාෂාව වන අරාබි බසින්ම කියවන්නට යෙදෙන අතර මුස්ලිම්වරුන් විසින් අඩුම වශයෙන් මෙම ග‍්‍රන්ථයෙන් කොටසක් හෝ නැතහොත් සම්පූර්ණයෙන්ම හෝ කටපාඩම් කර තැබීමද එක් විශේෂත්වයකි.

මෙසේ කටපාඩම් කර තැබීමෙන් මෙම ග‍්‍රන්ථය කිසිම ආකාරයකින් සම්පූර්ණයෙන්ම විනාශවී යාම වැළැක්විය හැකි යයි මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. මෙමගින් කෙතරම් දුරට මුස්ලිම්වරුන් විසින් මෙම ග‍්‍රන්ථය කෙරෙහි වැදගත් තැනක් දී ඇත්දැයි බලා ගත හැකිය. එපමණක්ද නොව මුස්ලිම්වරුන් විහිදී ඇති සෑම රටකම පාහේ ඒ රටේ ඇති භාෂාවටද පරිවර්ථනය කර තිබීමෙන් ඒ රටේ ජනතාවටද ඉතා ලෙහෙසියෙන් මෙම ශුද්ධ වූ ග‍්‍රන්ථයේ අඬංගු වී ඇති දැයද වටහා ගත හැකිය.

උඬඟුකම හා අඥානය නිසා විනාශ වී ගිය ‘ආද්’ හා ‘සමූද්’ වැනි ජනතාවගේ ඉතිහාසය ගෙනහැර දැක්වීම මගින් අතීත කාලයේ ජනතාවගේ ජීවිත රටාව හා අතීත කාලයද, මිනිස් ජීවිතයේ දින චරියාවේදී ඇතිවෙන ඉතාමත් කුඩා ප‍්‍රශ්නයකට පවා මාර්ග උපදේශයන් ලබා දීම මගින් වර්තමාන කාලයද, විනිශ්චය දිනය හා පරලොව ජීවිතය ගැන ගෙනහැර දැක්වීමෙන් අනාගත කාලයද යන කාල තුනම අන්තර්ගත වන සේ හා කාල තුනටම ඔබින සේ මෙමඅල්-කුර්ආනය පහළවීම එහි ඇති අද්විතීය ගුණාංගය පෙන්වන්නේය.

මෙය පහළ වූ මූලික අරාබි බස නොදන්නා කෙනෙකුට පවා එයට සවන් දීමෙන් හිත් ඇද ගන්නා සුළු තාලය හා සාහිත්‍යමය රසය පුදුම උපද්දවන සුළුය. මෙය විශේෂිත එක් රටවැසියනට හෝ නැතහොත් විශේෂිත එක් භාෂාවක් කතා කරන්නන්ට හෝ පමණක් සීමා වූවක් නොව, මුළු ලොව පුරා විසිරී විහිදී සිටින මුළු මහත් ජනතාවගේම සිත් දිනා ගනිමින් පවතින ධර්ම පුස්තකයක් බවටද පත් වී ඇත.

අල්-කුර්ආනය නමැති නාමය

ජිබ්රීල් අලෛහිස්සලාම් නමැති දේව දූතයා මගින් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් හට පහළ කරන ලද මෙම ග‍්‍රන්ථයට බොහෝ නාමයන් තිබුණද, මෙම ග‍්‍රන්ථයේ බොහෝ ස්ථානයන්හි සඳහන්ව ඇති ‘කුර්ආනය’ නමැති නාමය පරිශුද්ධ වූ විශේෂ නාමයක් ලෙසට පත් වී ඇත. ‘කුර්ආන්’ නමැති අරාබි වචනයට ‘කියවන්නට යෙදුනි’ ‘කියවීමට හැකි’ ‘කියවිය යුතු’ යයි විවිධ අර්ථයන් දක්වන්නේය. නබි මුහම්මද් (සල්) තුමාණන් හට ජිබ්රීල් (අලෛහිස්සලාම්) මගින් කියවන්නට යෙදුන මෙම ධර්මය මිනිස් සංහතිය තම උතුම්භාවය සිතට ගෙන ‘කියවිය යුතුය’ යන අර්ථයම භාවිතා කරමින් මෙම නාමය ව්‍යවහාරයේ තබා ඇත. මෙය අධික ජන සංඛ්‍යාවක් විසින් කියවන්නට යෙදීමද තවත් විශේෂිත කරුණකි.

පහළ කරන ලද දවස

නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ 40 වැනි වියේදී රමලාන් මාසයේ අග භාගයේ රාත‍්‍රියක මක්කා නගරයට ආසන්නයේ පිහිටි ‘හිරා’ නමැති ගල් ගුහාවක නබි මුහම්මද් (සල්) තුමාණන් තනි වී අල්ලාහ් දෙවියන් වහන්සේ සිහියට නංවමින් භාවනාවේ යෙදී සිටි අවස්ථාවකදී මෙම ශුද්ධ වූ අල්-කුර්ආනය පළමු වරට පහළ විය. එම රාත‍්‍රිය ‘ලයිලතුල් කද්ර්’ හෙවත් ‘ගෞරවණීය රාත‍්‍රිය’ යයි නම් කර ඇත. මෙම උතුම් රාත‍්‍රියේදී පළමුවෙන්ම පහළ කරන ලද මෙම ශුද්ධ වූ අල්-කුර්ආනයේ ආයාවන් හෙවත් වගන්තීන් ඒ ඒ කාලයන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය ස්ථානයන්හි නබි තුමාණන් ජීවත් වූ අවසන් අවුරුදු 23 ක කාලයක් තුළ පහළ කරනු ලැබ පූරණය කරන ලදී. මෙසේ අවුරුදු 23 ක කාලයක් පුරා අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් දැනුම් දෙන ලද ආයාවන් 6666 කින් සමන්විත වන මෙය අද අප විසින් කියවන්නට යෙදෙන හා අනුගමනය කරන අල්-කුර්ආනය වන්නේය. මෙම ආයාවන් 6666, අඩුම වශයෙන් ආයාවන් 3 ක්ද වැඩිම වශයෙන් ආයාවන් 286 ක්ද වශයෙන් පරිච්ෙඡ්දයන් හෙවත් සූරාවන් 114 කට වෙන් කර ඇත. නමුත් මෙසේ සූරාවන් වශයෙන් පහළ නොවූ අතර අවශ්‍යතාවයන්ට අනුව ආයාවන් වශයෙන්ම පමණක් පහළ විය.

පුස්තකයක් වශයෙන් සකස් කිරීම

නබි මුහම්මද් (සල්* තුමාණන්ගේ ඇවෑමෙන් පසු මෙය පළමුවෙන්ම පුස්තකයක් වශයෙන් පිළියෙල කරන ලද්දේ උස්මාන් (රළිඅල්ලාහු අන්හු* තුමා, තමන් කලීෆා වශයෙන් පාලනය කරන කාලයේදීය. මේ වන තුරු අල්-කුර්ආනය පහළ වූ ආකාරයටම ඉඳි කොළ, ගල් ආදී විවිධ දැය මත ලියැවී තිබුණු අතර එය කට පාඩම් කිරීමට හා කියවීමට පහසු වන ආකාරයට එතුමා පිළියෙල කර පුස්තකයක් බවට පත් කළේය.

‘ජුසු’ වෙන් කිරීම

මුහම්මද් නබි (සල්) තුමාණන්ට ආයාවන් වශයෙන් පහළ වී පූරණය වූ අල්-කුර්ආනය මිනිසුන්ගේ පහසුව තකා පිළිවෙලකට තබමින් සූරාවන් වශයෙන් වෙන් කර ඇති අතර එය තව දුරටත් සෑම කෙනෙකුම අඩුම වශයෙන් මාසයකට එක් වතාවක් හෝ කියවා නිම කළ යුතුය යන අදහසින් එය සාමාන්‍ය ගණනයකට අනුව සම කොටස් 30 කටද බෙදා වෙන් කර ඇත.

‘ජුසු’හි නාමයන්

මෙසේ ජුසූන් නම් කරන විට එම ජුසුව ආරම්භ කරන පළමු වචනය හෝ වචන කිහිපය භාවිතා කරන අතර පළමුවැනි ජුසුව පමණක් දෙවැනි සූරාවේ වචන කිහිපය හෙවත් අලිෆ්. ලාම්. මීම්. වශයෙන් නම් කර ඇති නමුත් පළමුවැනි ෆාතිහා සූරාව සෑම ජුසුවකටම පොදුවේ ආරම්භක සූරාව වශයෙන් ගැනීමද මෙයට එක් හේතුවකි.

ආයාවන් ගණනය කිරීම

ආයාවන් ගණනය කිරීමේදී සමහරුන් මෙම ආයාවන් 6666 සමහර තැන්වලදී ආයාවන් දෙකක් එකක් වශයෙන් ගණනය කරමින් ආයාවන් 6212 බවට ගණනය කළද මෙමගින් මෙම අල්-කුර්ආනයේ ඇති ආයාවන් ප‍්‍රමාණය හෝ වචන ප‍්‍රමාණය හෝ අකුරු ප‍්‍රමාණය හෝ අඩු වැඩි වන්නේ නැත.

අකුරු ගණනය කිරීම

ලෝකයේ ඇති කිසිම ධර්ම පුස්තකයක් විශ්ලේෂණය නොකළ තරමට මෙම ග‍්‍රන්ථය එකලදීම විශ්ලේෂණය කර ඇති අතර මෙම ග‍්‍රන්ථය ලියැවී ඇති අරාබි අක්ෂරයන්ගෙන් ‘අ’ ‘බ’ ‘ත’ පිළිවෙලින් කොපමණ අකුරු ප‍්‍රමාණයක් භාවිතා කරමින් මෙය ලියැවී ඇත්තේදැයි ගණනය කර ඇත. එපමණක්ද නොව එම අරාබි අකුරුවලට උඩින් හා යටින් ඇති සංඥා ඉරි පවා ගණනය කර තැබීම මෙහි ඇති විශේෂ ලක්ෂණයක් වන අතර එය පහළ වූ ආකාරයටම කිසිම වෙනසක් නොවී ආරක්ෂා කර තැබීමද මෙයින් බලාපොරොත්තු වන තවත් අංගයක් වන්නේය.

‘මක්කී’ ‘මදනී’

අල්-කුර්ආනය පහළ කරන ලද අවුරුදු 23 ක කාලය තුළ නබි තුමාණන් පළමු අවුරුදු 13 ක් මක්කාවෙහිද අවසන් අවුරුදු 10 මදීනාවෙහිද වාසය කළහ. එතුමාණන් මක්කාවෙහිදී වාසය කළ අවුරුදු 13 ක කාලයක් තුළදී මක්කාවෙහි හා ඒ අවට ප‍්‍රදේශයන්හිද පහළ වූ සූරාවන්ට ‘මක්කී’ (එනම් මක්කාවෙහිදී පහළ වූ) යයිද එතුමාණන් මදීනාහිදී ජීවත් වූ අවසන් අවුරුදු 10 තුළ මදීනාව හා ඒ අවට ප‍්‍රදේශයන්හිද පහළ වූ සූරාවන්ට ‘මදනී’ (එනම් මදීනාවෙහිදී පහළ වූ) යයිද නම් කර ඇත. අල්-කුර්ආනයේ ඇති සූරාවලින් 86 ‘මක්කී’ වශයෙන්ද ඉතිරි 28 ‘මදනී’ වශයෙන්ද නම් කර ඇත.

‘බිස්මිල්ලාහ් නමැති ආරම්භක වගන්තිය හෙවත් පරිච්ෙඡ්දයන් වෙන්කර දැක්වීම සඳහා පටන්ගැන්මේදී ‘බිස්මිල්ලාහ් හිර්රහ්මා නිර්රහීම්’ (එනම් අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්’) යයි ආරම්භක වගන්තියේ සඳහන් වී ඇති නමුත් අල්-කුර්ආනයේ නව වැනි සූරාව වශයෙන් ගණන් ගැණෙන ‘සූරතුල් තව්බා’ නමැති සූරාව අට වැනි සූරාව වන ‘සූරතුල් අන්ෆාල්’ නමැති සූරාව සමග එකතු කර ගණන් ගන්නා ක‍්‍රමයක්ද ඇති බැවින් නව වැනි සූරාවෙහි ආරම්භයේදී පමණක් ‘බිස්මිල්ලාහ්’ නමැති ආරම්භක වගන්තිය යොදන්නේ නැත.

සූරාවන්

සූරාවන් වෙන් කිරීමේදී සඳහන් දැය අල්-කුර්ආනයෙහි සූරාවන් 114 වෙන් කර පෙන්වන ආරම්භක වගන්තිය සමග ඇති කොටසේ ජුසුවේ අංකයද සූරාවේ අංකයද කිනම් ස්ථානයකදී පහළ වූයේද යන්න පැහැදිලිව සඳහන් කර ඇත.

නබිවරුන්

ලොව බිහිවූ වකවානුවේ සිට මෙතෙක් බොහෝ දේශයන්හි ජීවත් වූ ජනතාවට ඔවුනොවුන්ගේ භාෂාවෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේගේ ඍජු මාර්ගය ගෙනහැර දැක්වීම සඳහා නබිවරුන් දහස් ගණනින් පහළ කළ අතර මෙසේ පහළ වූ නබිවරුන්ගෙන් මෙම ග‍්‍රන්ථයේ නම් සඳහන් වීමට තරම් භාග්‍යයක් හා ගෞරවයක් ලත් නබිවරුන් 25කි.

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම්

ඉස්ලාම් ධර්මයේ ඉතාමත් වැදගත්ම කරුණු දෙකකි. එනම් ‘කුර්ආනය’ හා ‘සුන්නා’ හෙවත් මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ජීවන රටාවයි. මෙහිදී එතුමාණන්ගේ වැදෑරීම් හා එතුමාණන් ඉදිරියේ කවුරුන් විසින් හෝ කරන්නට යෙදුන ක‍්‍රියාවන්ගෙන් එතුමාණන් විසින් අනුමත කළ ක‍්‍රියාවන්ද ඇතුළත් වන අතර එතුමාණන්ගේ අන්තිම කැමැත්තද ඇතුළත් වන්නේය.

ක‍්‍රිස්තු වර්ෂ 571 දී මුහම්මද් නබි (සල්) තුමාණන් උතුරු අරාබියේ පිහිටි මක්කා නගරයේ කුරෙයිෂි වංශයේ පවුලක උපත ලැබුහ. මෙකල මෙම නගරයේ විසූ ඉතාමත්ම වැදගත්ම ගෝත‍්‍රිකයින් වන කුරෙයිෂිවරුන් වෙළෙඳාමට ඉතාමත් උසස් නමක් ඉසුළුහ. මොවුන්ගේ තවලම්, සිරියාව හා යෙමන් වැනි දේශයන්හි පවා වෙළෙඳාමෙහි නිරත විය. මීට අමතරව අරාබි වන්ඳනාකරුවන් විශාල සංඛ්‍යාවක් මක්කා නගරයේ පිහිටි පැරණිම සිද්ධස්ථානය වන කඃබාවටද ඇදී එන්නට වූහ. එකල සාමාන්‍යයෙන් අරාබි ජාතිකයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් පිළිරූ අදහන්නන් වූ අතර තවත් ආගම් භක්තිකයන්ද ඒ අතර වූහ. ක‍්‍රිස්තියානුවන් හා යුදෙව්වන්ද ඒ අතර වැදගත් තැනක් ඉසුළු නමුත් අරාබියේ අන් කිසිම ආගම් භක්තිකයන් සුළුතරයක් මිස වැදගත් තැනක් ඉසුළුවේ නැත.

මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ පවුල, එවකට සිටි ඉතාමත්ම වැදගත් පවුලක් වූ ‘බනූ හාෂීම්’ නමැති පවුලට අයත් විය. නමුත් එතුමාණන් අනාථයෙක් වශයෙන් හැදී වැඩුනාහ. ඔහු ඉපදීමට පෙර ඔහුගේ පියාද, ඔහු ඉපදී ඔහුගේ හය වන වියේදී ඔහුගේ මවද ජීවතුන් අතරෙන් වෙන් වූහ. එනිසා පළමුවෙන්ම ඔහුගේ භාරකාරත්වය ඔහුගේ සීයාට පැවරුණු අතර පසුව ඔහුගේ සුළු පියා වන අබූ-තාලීබ්ට පැවරුණි. ඔහුගේ කුඩා කාලයේදීම ඔහු ඉතාමත් හොඳ නමක් දිනා ගනිමින් ‘විශ්වාසවන්තයා’ (හෙවත් අල්-අමීන්) නමැති නම්ඹු නාමය පවා අරාබි ජාතිකයන් අතර දිනා ගත්තේය.

මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ 25 වැනි වියේදී කදීජා නමැති පොහොසත් වංශවත් වැන්දඹු ස්ත‍්‍රිය සමග එතුමාණන් විවාහ වූහ. ඒ වන විට එතුමාණන් ඇයගේ තවලම් වල වෙළෙඳාම් කටයුතු ආදියෙහි නියුතුව සිටි අතර එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨ ගති පැවතුම් නිසා ඇයගේ ගෞරවයද දිනා ගැනීමට සමත් වූහ. ඇයගේ විවාහයෙන් පසු ඇයගේ විවෘත මනස හා ඔවුන් අතර පැවති අන්‍යයෝන්‍ය අවබෝධය නිසා එතුමාණන් ඉතාමත්ම සතුටින් පිරි පුද්ගලයෙකු බවට පත් වූහ. එතුමාණන්ගේ 15 වැනි විවාහ දිවියේදී එනම් කි‍්‍ර:ව: 610දී එතුමාණන් දවස් ගණන් ළඟම ඇති කන්දක පිහිටි ‘හිරා’ නමැති ගල් ගුහාවකට වී භාවනාවේ යෙදෙන්නට පුරුදු වී සිටියහ. නමුත් කදීජා රළිඅල්ලාහු අන්හා තුමිය කිසි දිනක මේ ගැන කිසිම චෝදනාවක් නොකළ අතර එතුමාණන්ගේ මෙම ක‍්‍රියාව ඉතාමත් අගය කොට සැළකුවාය. එම වර්ෂයේදී දිනක් ලැබූ දේව වාක්‍ය හෙවත් නබිත්වය පිළිගත් පළමුවැන්නා බවටද පත් වූවාය. එතුමිය ඇයගේ ස්වාමිපුරුෂයාණන් අල්ලාහ් දෙවියන් වහන්සේගේ රසූල් වශයෙන්ද පිළිගත් අතර ඉස්ලාම් ධර්මය වැළඳ ගත් පළමුවැනියා බවටද පත් වූවාය. එතුමිය ක‍්‍රි:ව: 620 දී වියෝ වන තුරුම ඉස්ලාම් භක්තිවන්තියක ලෙසම ජීවත් වූ අතර එතුමාණන් හට ධර්ම ප‍්‍රචාරය ඇතුළු සියලූ කාර්යයන්හිදීම හොඳම සහකාරිය වශයෙන්ද සිටියාය.

මුහම්මද් නබි (සල්) තුමාණන් හට ඉහතකී ගල් ගුහාවේදී ක‍්‍රි:ව: 610 දී ආරම්භ වූ නබිත්වය සමග ක‍්‍රි:ව: 632 දක්වා වූ එතුමාණන්ගේ ඉතිරි ජීවිත කාලය තුළදී විටින් විට කොටස් වශයෙන් මෙම අල්-කුර්ආනය පහළ විය. මෙම අල්-කුර්ආනය පහළ වීමේදී අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මුහම්මද් නබි (සල්) තුමාණන් හට කිහිප වතාවක්ම අනතුරු අඟවමින් කියා සිටියේ එතුමාණන්ව තෝරාගෙන ඇත්තේ උන්වහන්සේගේ ශුද්ධ වූ පණිවුඩය මනුෂ්‍ය වර්ගයාට දැනුම් දීමේ එකම අදහසින් බවයි. එතුමාණන්ද එම කර්තව්‍යය අකුරටම ඉටු කළහ.

මුහම්මද් නබි (සල්) තුමාණන් හට නබිවරයෙකු වශයෙන් ජීවත් වීමට හැකි වූයේ අවුරුදු 23 ක් පමණි. එයින් අඩක් පමණ මක්කාවෙහිද ඉතිරිය මදීනාවෙහිද ජීවත් වීමට සිදු විය. මදීනාව මක්කාවෙන් සැතපුම් 280 ක් පමණ උතුරින් පිහිටා ඇත. එතුමාණන්ගේ නබිත්වයේ පළමු කාලය තුළදී මක්කාවාසීන්ගේ සිත් දිනා ගැනීම සඳහා අනන්ත බාධක හා දුක් ගැහැට වලට මුහුණ දෙන්නට සිදු විය. නමුත් ක‍්‍රි:ව: 622 දී එතුමාණන්ට මක්කාව අතහැර මදීනාවට යන්නට සිදු වූ අතර ඉස්ලාම් ධර්මය වැළඳ ගත් එතුමාණන්ගේ අනුගාමිකයන් කිහිප දෙනෙක්ද ඒ අතර වූහ. මදීනාවෙහිදී එතුමාණන්ව ඉතාමත් හොඳ අති විශේෂ ආගන්තුක සත්කාරයෙන් එම නගරවාසීන් විසින් පිළිගනු ලැබූහ. කෙසේ වෙතත් එතුමාණන්, එවකට භේද බින්න වී සිටි මක්කාවාසීන් සියල්ල හා මුළු අරාබිකරයේම සිටි සියලූ ජනතාවම එතුමාණන් අභාවප‍්‍රාප්ත වූ කි‍්‍ර:ව: 632 වන විට ඉස්ලාමය නමැති එකම කුඩයක් යටතට ඒකරාශී කිරීමට සමත් වූ අතර අල්-කුර්ආනය නමැති අල්ලාහ් දෙවියන් වහන්සේගේ පණිවුඩයද පූරණය කර තැබූහ.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.